ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති

අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ සමාලෝචනය

අපගේ කාර්යයන්හී සාරාංශයක් ඉදිරිපත් කිරීම සහ 2020 සහ ඉන් ඔබ්බට අපගේ අපේක්ෂාවන් සහ සැළසුම් පිළිබඳ හැඟවීමක් සැපයීමට හැකිවීම සතුටට කරුණකි.

රටේ වෙනත් බොහෝ ක්ෂේත්‍රවල මෙන්ම, අපගේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළද බොහෝ අවස්ථාවන් මග හැරී ඇති අතර එහි සැබෑ හැකියාවට අනුව ක්‍රියා කර නොමැති බව මාගේ අදහසයි.සත්‍ය වශයෙන්ම ගත්විට, රටක් වශයෙන්, යහපත් හා සමෘද්ධිමත්භාවයක් සහිත සංවර්ධිත ජාතියක් බවට පත්වීමට අපි සිහින මැව්වෙමු. අප එම දැක්ම ඉටුකර ගැනීමට අවශ්‍ය නිපුණතාවන්, කැපවීමෙන් සහ උනන්දුවෙන් අත්පත් කර ගැනීමට ක්‍රියාකළ යුතුය.

අප ආර්ථිකය මුහුණ දෙන ෆිස්කල් හා මූල්‍යමය බාධාවන් සැලකිල්ලට ගෙන, රටේ වර්ධන මාවත නැවත ස්ථානගත කිරීමේදී පෞද්ගලික අංශය විසින් සිදු කළ යුතු වැදගත් කාර්යභාරය වඩා පැහැදිලිය. ඒ අනුව, පෞද්ගලික අංශයේ වර්ධනයට රුකුලක් වන ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළක අවශ්‍යතාවය වෙන කවරදාකටත් වඩා හොඳින් දැනේ. ශක්තිමත් හා තිරසාර ප්‍රාග්ධන වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සඳහා අදාළ සියලු අංශ නියාමනය කිරීමේ ප්‍රබල කර්තව්‍යයක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට පැවරී ඇත.

රටේ ආර්ථික වර්ධනය: ප්‍රාග්ධන වෙළෙඳපොළ ආර්ථික වර්ධනයට, සේවා නියුක්තියට, ආදායමට සහ ජීවන තත්වයට දායක විය හැකි අයුරු

මරියානා මසුකාටෝ සිය ‘ව්‍යවසායකත්ව රාජ්‍යය’ නම් කෘතිය තුළින් පෙන්වාදී ඇත්තේ නවෝත්පාදන හා ආර්ථික පරිවර්තනය සඳහා රජය පෙරමුණ ගත යුතු බවයි. මසුකාටෝ සඳහන් කරන ආකාරයට චීනයේ , දකුණු කොරියාවේ, සිංගප්පුරුවේ, තායිවානයේ සහ මැලේසියාවේ ශීඝ්‍ර දියුණුවට තුඩු දුන්නේ රජය නිසි ප්‍රමාණයෙන් ව්‍යාපාර ලෝකයට මැදිහත් වූ නිසාය. එම මැදිහත්වීම පෞද්ගලික අංශයට ඇඟිලි ගැසීමක් නොවූ නමුත් වර්ධනය සහ නවීකරණය ළඟා කර ගැනීමට හොඳින් සැළසුම් කරන ලද සාර්ථක මැදිහත්වීමකි.

තවද, හාවඩ් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්ය රිකාඩෝ හවුස්මාන් ද සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුව බවට පත්ව ඇත්තේ ඇඟලුම් වැනි සාපේක්ෂව සරල නිෂ්පාදනයන් නිෂ්පාදනය කිරීමේ සිට ඉහළ වටිනාකමකින් යුත් භාණ්ඩ හා තාක්‍ෂණික වශයෙන් දියුණුවන අංශ කරා යාමට පෞද්ගලික අංශයට හැකියාවක් නොමැති බවයි. ශ්‍රී ලංකාව මෙන් ම සමකාලීනව ඔවුන් ඇඟලුම් නිෂ්පාදනය ආරම්භ කළද, ආසියානු රටවල සාර්ථකත්වය වූයේ ඔවුන්ගේ පෞද්ගලික අංශයට ඇඟලුම්වල සිට ඉලෙක්ට්‍රොනික හා යන්ත්‍රෝපකරණ නිෂ්පාදන වැනි වටිනා අංශ වෙත යාමට ඇති හැකියාවයි.

ආයෝජන අප පසුකර වෙනත් රටවල් වෙත යාම දැකීම කනගාටුවට කරුණකි. දකුණු කොරියාව, සිංගප්පූරුව සහ වියට්නාමයේ මූල්‍ය හා සුරැකුම්පත් නීති ප්‍රතිසංස්කරණ මගින් විදේශීය සෘජු ආයෝජන ගලා ඒම තීව්‍ර කරන බවට පාඩම් අපට සපයන බව පැවසීමට මා කැමතිය. ඉතා මෑතකදී, වැඩිදියුණු වන ආර්ථිකයක් සහ නව ලැයිස්තුගත කිරීම් රැල්ලක් මගින් මහාපරිමාණ විදේශීය ආයෝජකයින්ගෙන් අරමුදල් ලබා ගැනීමට වියට්නාමයට හැකි වී තිබේ. වියට්නාම කොටස් මෑත අතීතයේ ආසියාවේ හොඳම ලාභ ලබාගෙන ඇති අතර, හො චි මිං කොටස් හුවමාරුව ලෝකයේ හොඳම කාර්ය සාධනයයන් සහිත කොටස් වෙළෙඳපොළවල් අතරින් එකක් බවට පත් වී තිබේ. පසුගිය දෙවසර තුළ එහි කාර්යසාධනය දෙගුණ වී තිබුණද, එම කොටස් හුවමාරුව තවමත් “Frontier” වෙළෙඳපොළක් ලෙස වර්ගීකරණය කර තිබීම දැකගත හැකිවේ.

විශ්ලේෂකයින් පවසන්නේ ගෝලීය අරමුදල් සහ ඉහළ ආයෝජකයින් මෙම රටවල ආර්ථිකයන් වෙත ඇදී යන්නේ ගෝලීය වෙළෙඳ පද්ධතියට ඔවුන් සම්බන්ධ වී තිබීම හා විදේශීය නිෂ්පාදන කේන්ද්‍රයක් ලෙස ස්ථානගතවී තිබීම හේතුවෙනි. එය තවදුරටත් වර්ධනය වීමට හේතුවක් වී ඇත්තේ, චීනය සහ එක්සත් ජනපදය අතර පවතින මතභේදකාරී තත්ත්වය හමුවේ මෙම රටවල් වාසි අත්කරගනීමයි. එනම් ලොව ප්‍රධාන පෙළේ සමාගම් ද්විත්ව ලැයිස්තුගත කිරීම් සළකා බලමින් සිටීමත් චීනයෙන් හා එක්සත් ජනපදයෙන් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඉවත්ව ඉහළ වටිනාකමක් සහිත කර්මාන්තශාලා පිහිටුවා මෙම රටවල්වල ස්ථානගතවී මෙම රටවල්වල ආර්ථිකයට දායක වී වාසි අත්කරගනිමින් සිටීමයි.

මේ අනුව, ආර්ථික වර්ධනය හා පරිවර්තනය සඳහා රජයේ නිෂ්ක්‍රීය භූමිකාව සම්බන්ධ සාම්ප්‍රදායික මතයන් පිළිබඳ විවිධ මිථ්‍යාවන් අභියෝගයට ලක් නොවන්නේ නම්, අපේ රට මුහුණ දී සිටින ව්‍යුහාත්මක ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමක් අපට බලාපොරොත්තු විය නොහැක. ඒ හා සමානව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව තවදුරටත් එහි සාම්ප්‍රදායික භූමිකාවට හා සාම්ප්‍රදායික ප්‍රවේශයට සීමා කළ නොහැක. වෙළෙඳපොළ නියාමනය සහ වෙළෙඳපොළ සංවර්ධනය අතර නිවැරදි සමතුලිතතාවයක් පවත්වාගනිමින් ප්‍රාග්ධන උත්පාදනයට දිරිගැන්වීමක් ලබා දීමේ අරමුණින් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිය භූමිකාව නැවත සකස් කිරීම අත්‍යවශ්‍ය වේ.

දීර්ඝ කථාවක් කෙටියෙන් කිවහොත්, මට මෙහිදී අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ , එම රටවල රජයන් පෞද්ගලික අංශයට සමෘද්ධිමත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර ඇති ආකාරය සහ ඔවුන් තම සමාගම්වලට ගෝලීය ප්‍රමුඛ පෙළේ සමාගම් බවට පත්වීමට පහසුකම් සළසා ඇති ආකාරයත් සහ එම මට්ටමට ළඟාවීමට අපගේ පෞද්ගලික අංශයට අප සහාය විය යුත්තේ ඇයි ද යන්නයි.

ඇත්ත වශයෙන්ම, අපගේ වෙළෙඳපොළ රජය එහි වර්ධනයට හා ව්‍යාප්තියට සහාය දෙන තෙක් බලා සිටින නමුත් එ සඳහා උදව් කිරීමට අප අතිශයින් මන්දගාමී වී සිටිමු. උදාහරණයක් ලෙස, දේපල ආයෝජන භාර වෙළෙඳපොළට හඳුන්වා දීමට අපට හැකියාව ලැබුණි. එහෙත් එය අවම වශයෙන් අවුරුදු දහයකට පෙර කළ යුතුව තිබූ දෙයකි.

ප්‍රාග්ධන වෙළෙඳපොළට අපගේ ජාතික ප්‍රයත්නයන් සඳහා සහාය විය හැකිය.

විශේෂයෙන්ම අරමුදල් සංවර්ධන ව්‍යාපෘති සඳහා පොදු වෙළෙඳපොළ යොදාගැනීමේදී සහ ජාතික වැදගත්කමක් ඇති ක්‍රියාකාරකම් සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වයේදී රජයේ අරමුදල් සම්පාදන අවශ්‍යතාවයන් සඳහා උපකාරී වන වෙළෙඳපොළ යටිතල පහසුකම් කොළඹ කොටස් හුවමාරුවට සතුව ඇත. පෞද්ගලික ආයතන මෙන් ම, රජයද ඉදිරියට යාමේ දී විවිධ හා විකල්ප අරමුදල් ප්‍රභවයන් කෙරෙහි ද අවධානය යොමු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

වසර ගණනාවක් තිස්සේ අපගේ ගැටලුව වූයේ සැළකිය යුතු කාලයක් සඳහා අඛණ්ඩව 6% කට වැඩි වර්ධන වේගයක් පවත්වා ගැනීමට අපට නොහැකිවීමයි. එහෙත් ආසියාවේ සාර්ථකත්වයන් දෙස බලන විට මෑත අතීතයේ සංවර්ධිත තත්ත්වය අත්කර ගත් රටවල් 7-8% කට වඩා අඛණ්ඩව වර්ධන අනුපාතයක් සැලකිය යුතු කාලයක් සඳහා පවත්වාගෙනයාමට සමත් වී ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මෑතකදී Daily FT පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ පශ්චාත් වසංගත තත්ත්වය සමඟ පහළ වැටුණු ආර්ථික වාතාවරණය, ශ්‍රී ලංකාවට 7-8% ක වර්ධනයක් සඳහා සූදානම් වීමට හා ළඟා කර ගැනීමට මෙන්ම තිරසාර සමාජ-ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා හොඳ අවස්ථාවක් වනු ඇති බවයි.

අනෙක් අතට ආචාර්ය ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත්තේ 2021 වසරේ සිට රජය නැවත මූල්‍ය ඒකාබද්ධතා මාවතට පිවිසෙනු ඇති බවයි. එම නිසා, අපගේ ප්‍රාග්ධන වෙළෙඳපොළට ඉදිරියට යාමට හා නව අවස්ථා රාශියක් විවෘත කර තිබෙන වාතාවරණය තුළ මෙම මුලික අරමුණ අවබෝධකර ගනිමින් ව්‍යවසායක ප්‍රජාව සවිබල ගැන්වීමට සෑම උත්සාහයක්ම දැරීමට සුදුසුම අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ නියාමන අවශ්‍යතාවය.

නියාමනය පැත්තෙන් බලන විට, නව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත බලාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වනුයේ නියාමන බලතල සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදීමයි. මේ අනුව, නව කොමිෂන් සභාව දැනට පනත් කෙටුම්පතේ විධිවිධාන සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටී.

පනත් කෙටුම්පත පිළිබඳ විවේචනයන් කේන්ද්‍රගත වී ඇත්තේ බාධක දෙකක් මත ය, ඉන් එකක් වන්නේ ඇතැම් විධිවිධානවල අර්ථය පිළිබඳ පැහැදිලි බව අඩුකමක් හෝ අර්ථයෙහි ව්‍යාකූල බවක් දක්නට ලැබීමයි. අනෙක් බාධකය වන්නේ බලාත්මක කිරීමේ දඬුවම් පරාසයෙහි ප්‍රායෝගික නොවන බව පනත තුළ ගැටලු ඇති කරවිය හැකි වීම සහ එමගින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ බලාත්මක කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ගැටළු මතු කරවිය හැකිවීමයි. ඇත්ත වශයෙන්ම, නව පනත මගින්, බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට එතරම් අභියෝගාත්මක නොවිය යුතුය.

එබැවින්, මෙම වර්තමාන නීති කෙටුම්පත් කිරීමේ ප්‍රවේශය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි නීතියක් වනු ඇතැයි මා විශ්වාස කරන අතර එමගින් බලාත්මක කිරීම් වඩා පැහැදිළිව හා කඩිනම්ව සිදු කිරීමට හැකියාව ලැබේ. තවද එමගින් සාධාරණ ප්‍රතිපත්තියක් හෝ ප්‍රායෝගික සාධාරණීකරණයකින් තොරව වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වලට අනවශ්‍ය ලෙස බාධා නොකරන අතර පනත් කෙටුම්පත වෙත එල්ල වන විවේචනද ඉවත් කරනු ඇත.

සමස්තයක් ලෙස සුරැකුම්පත් වෙළෙඳපොළක වර්ධනය තුළින් පෙන්නුම් කරනුයේ සමස්තයක් වශයෙන් වෙළෙඳපොළ සහ රට කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසයයි. කෙසේ වෙතත්, මෑත අතීතයේ දී මතු වූ ගැටළු ගණනාවක් අපට අත්දකින්නට ලැබුණු අතර අපගේ වෙළෙඳපොළ කෙරෙහි ඇති අවංකභාවය හා විශ්වාසයේ යම් අඩුවක් ඊට බලපා ඇති ආකාරය අපි දුටුවෙමු. වෙළෙඳපොළ හා මූල්‍ය පද්ධතියට දැඩි බලපෑම් ඇති කරන ප්‍රමාණවත් බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සහ වෘත්තීයමයභාවය නොමැතිකම සමඟ මෙයට සම්බන්ධයක් ඇති බව මා ප්‍රකාශ කිරීමට කැමතිය.

ආයෝජකයින්ගේ අයිතිවාසිකම් අප ආරක්ෂා කළ යුතු බැවින් උවමනාවට වඩා වැඩි නියාමනයක් තුළින් වර්ධනය හා ක්‍රියාකාරී පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය අෛධහිර්යමත් කෙරෙන නිසා වෙළෙඳපොළ නියාමනය කිරීමේදී සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නිවැරදි සමබරතාවයක් සහිතව කටයුතු කළ යුතු බවත් අප විසින් නියාමනය කරනු ලබන වෙළෙඳපොළෙහි විශ්වසනීයත්වය කිසිදු විටෙක පහත හෙළීමක් නොකළ යුතු බවත් මා මෙහිදී පැවසිය යුතුය.

අපට ලැබී ඇති බලතල වලට අනුකූලව වෙළෙඳපොළ තුළ අවංකභාවය පවත්වාගැනීමේ අරමුණින් අවදානම අධීක්ෂණය කිරීම, අවම කිරීම සහ කළමනාකරණය කිරීම මෙන්ම පූර්ණ හා නිවැරදි තොරතුරු බෙදා හැරීම තුළින් ආයෝජකයින් ආරක්ෂා වන බවටද සහතික වේ. අනාවරණය කිරීම් පිළිබඳව සහතික වීමෙන් අප බලාපොරොත්තු වනුයේ ආයෝජකයින්ට දැනුවත් ආයෝජන තීරණ ගැනීමට, ආයෝජකයින් තුළ වෙළෙඳපොළ සම්බන්ධව හැඟීම් වැඩි දියුණු කිරීමට මෙන්ම නුසුදුසු ආයෝජන හැසිරීම් වල යෙදීමෙන් වැළැක්වීමයි. මේ අනුව, අනුකූල නොවීම්වලට එරෙහිව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව දැඩි බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ගනු ලබන අතර දැඩි නීති රීති පැනවීම ද අඛණ්ඩව සිදු කරනු ඇත.

උපායමාර්ගික ආයෝජකයෙකුගේ ඇතුලත්කර ගැනීම සඳහා පහසුකම් සැළසීමේ අවශ්‍යතාවය

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව අප පිළිගත යුතුය. කිසිදු සැකයකින් තොරව අපගේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ස්ථානගත කළ යුත්තේ බැංකු අංශයට අනුපූරකව සහ රටේ වර්ධන ඉලක්කවලට සහාය වීම සඳහා ය. බොහෝ රටවල වේගවත් ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සඳහා වෙළෙඳපොළ ශක්තිමත් කිරීම ඉතා වැදගත් වන අතර මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ආයෝජකයින් සහ මහජන විශ්වාසය මෙන්ම වෙළෙඳපොළවල අවංකභාවය සහ ඔවුන්ගේ සහභාගීවන්නන්ද අත්‍යවශ්‍ය වේ.

චාලි මන්ගර් පවසන පරිදි, "වැඩ කරන්නේ කුමක්ද, වැඩ නොකරන්නේ කුමක්ද සහ වැඩ නොකරන්නේ ඇයි ද" යන්න අප විසින් සොයාගත යුතුය. ඇත්ත වශයෙන්ම, යම් කෙනෙක් තම ශක්තීන් හා දුර්වලතා හොඳින් හඳුනා ගන්නේ නම් ඔහුට වොරන් බෆට් වැනි ව්‍යාපාරික හවුල්කරුවෙකු සොයා ගැනීම අපහසු නොවන බව මන්ගර් පවසයි. එලෙසම ශ්‍රී ලංකා සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා කැප වූ කොටස් හිමියෙකු ලෙස “උපායමාර්ගික ආයෝජකයෙකු” කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඇතුළත් කර ගැනීමට අප පහසුකම් සැලසිය යුතුව ඇති අතර එමගින් අපව තව තවත් ඉදිරියට ගෙන යනු ඇත.

කොළඹ කොටස් හුවමාරුව සහ අපගේ පාර්ශවකරුවන් සමඟ සමීප සාකච්ඡා පැවැත්වීමේ වටිනාකම මම හඳුනා ගතිමි. හුදු අනුකූලතාවයෙන් ඔබ්බට ගිය සංස්කෘතියක් ඇති කිරීමට අපට හැකි වනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. ශ්‍රී ලංකා සුරැකුම්පත් වෙළෙඳපොළට ඵලදායී ලෙස තරඟ කරමින් රටට අරමුදල් ගලා ඒම ඉහළ නැංවීමට හැකි වන පරිදි නව නිෂ්පාදන හා වෙළෙඳපොළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නව වැඩසටහන් රැසක් සඳහා පහසුකම් සැලසීමට අපි උනන්දු වූයෙමු. ආයෝජන ගමනාන්තයක් ලෙස ආයෝජකයින් අවධානය යොමු කරන අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතාවන් වන ආකර්ශනීය තක්සේරු කිරීම්, හොඳින් පාලනය කරන ලද සහ ශක්තිමත් නියාමන රාමුවක්, නවීන යටිතල පහසුකම් සහ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට (IFRS) අනුකූල වන ලැයිස්තුගත සමාගම් අපගේ වෙළෙඳපොළට ඇත. එමනිසා, අපගේ ප්‍රාග්ධන වෙළෙඳපොළට ඇති හැකියාව හා ඔරොත්තු දීමේ ශක්තිය පිළිබඳව අපි සුබවාදීව සිටිමු.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් මෑතකදී ගනු ලැබූ සමහර මුල පිරීම් පිළිබඳව වඩාත් නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමට මා මෙය අවස්ථාවක් කර ගනිමි.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නවීන නියාමකයෙකු ලෙස නැවත ස්ථානගත කිරීම

• කොළඹ කොටස් හුවමාරුවේ මූලික කාර්යයන් ඩිජිටල්කරණය කිරීමේ ඒකාබද්ධ කමිටුව

අපගේ වෙළෙඳපොළට ගැටලුකාරී කාල පරිච්ඡේදය තුළ සිය මූලික ක්‍රියාකාරකම් සිදුකිරීමේ හැකියාව පෙන්නුම් කිරීමට සුදුසු තත්වයක නොසිටි අතර, එයින් ඉස්මතු කර පෙන්නුම් කරනුයේ කිසිදු ප්‍රමාදයකින් තොරව කොටස් වෙළෙඳපොළේ මූලික කාර්යයන් ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවයි. ඒ අනුව, කොළඹ කොටස් හුවමාරුව ඩිජිටල්කරණය පිළිබඳව සොයා බැලීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලදී. ඩිජිටල්කරණය කිරීමෙන්, කොටස් වෙළෙඳපොළේ සියළුම මූලික ක්‍රියාකාරකම් ඩිජිටල් ලෙස සිදුකිරීමට මෙන්ම විද්‍යුත් වශයෙන් නිශ්කාෂණය සහ බේරුම් කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුවට අවශ්‍ය යාන්ත්‍රණයන් හඳුන්වා දීමට අපි අපේක්ෂා කරමු. කොටස් තැරැව්කාර සමාගම් සඳහා අදාළ නීති, මධ්‍යම තැන්පතු ක්‍රමය සඳහා වන නීති සහ ලැයිස්තුගත කිරීමේ නීති ආදිය සඳහා අවශ්‍ය සංශෝධන කොමිෂන් සභාව විසින් මෑතකදී අනුමත කරන ලදී. ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණයට පහසුකම් සැළසීම සහ දේශීය ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජකයින්ගේ ඇඟිලි තුඩු අගටම ගෙන ඒම මෙම කාර්යයන් තුළින් අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන්, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අවධාරණය කළේ ගෝලීය සුරැකුම්පත් වෙළඳපොලවලට සමගාමීව නවීන සුරැකුම්පත් වෙළඳපොළක් ඇති කිරීම හා සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ අරමුණින් තැරැව්කරුවන් රට වෙනුවෙන් ඔවුන්ගේ කාර්යය ඉටු කළ යුතු බැවින් සමස්ත තැරැව්කාර ප්‍රජාවගේ සහයෝගය ඉතා වැදගත් බවයි. සත්‍ය වශයෙන්ම, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ඒකාබද්ධ කමිටුව මෙතෙක් ලබා ඇති දැවැන්ත ප්‍රගතිය බොහෝ සම්මානයට පාත්‍ර විය යුතු අතර, වෙළෙඳපොළ නවීකරණය කර එය සියලු තත්වයන් යටතේ ක්‍රියාත්මක කරවීම මුලික අපේක්ෂාවයි.

• ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා ඒකාබද්ධ කමිටුව

ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සලකා බැලීමටත්, සාමාන්‍ය ජනතාව අතර දැනුවත්භාවය ඇති කිරීමටත්, ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳපොළ නියෝජිතයින් සමඟ ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලදී. තවද, මෙම කමිටුවේ අපේක්ෂාව වනුයේ ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා ප්‍රාග්ධන වෙළඳපොළ භාවිතා කිරීමට සමාගම් දිරිමත් කිරීම, මනා දැක්මක් ඇතිකිරීම හා කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් සහයෝගීතාව වර්ධනය කිරීම, ආයෝජක ප්‍රජාව පුළුල් කිරීමේ අරමුණින් පාර්ශවකරුවන්ගේ අධ්‍යාපනය සහ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ අවසානයේ රටේ සියලුම භූගෝලීය කලාපවල සහ ජාත්‍යන්තරව සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ මහජන සහභාගීත්වය වර්ධනය කිරීමයි.

නෙක් අතට, කොළඹ කොටස් හුවමාරුව, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර පුළුල් පරාසයක විහිදී ඇති සමාගම් කොටස් වෙළෙඳපොළ තුළ ලයිස්තුගත කිරීම් සඳහා අවස්ථාවක් උදා කිරීම සඳහා ලයිස්තුගත කිරීමේ නීති සංශෝධන හඳුන්වා දුන්නේය. මෙම සංශෝධන මඟින් අළුතින් කොටස් නිකුත් කරන්නන්ට ආදායම් උත්පාදනය සහ නව මුදල් ප්‍රවාහ මාර්ග ඔස්සේ අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට නව මංපෙත් නිර්මාණය වනු ඇත.

• කොළඹ කොටස් හුවමාරුව තුළ විදේශ සමාගම්වල ද්විත්ව ලැයිස්තුගත කිරීම් හා සම්බන්ධ ඒකාබද්ධ කමිටුව

වෙළෙඳපොළ විශාලත්වය හා ද්‍රවශීලතාවය ඉහළ නැංවීම සඳහා ගත් පියවරවල කොටසක් ලෙස සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟ පෙන්වීම යටතේ, කෙටි කාලීනව ඉහළ ආර්ථික වර්ධනයක් සඳහා රට තුළ වාතාවරණයක් සැකසීමේ වැදගත්කම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් හඳුනාගෙන තිබේ. එබැවින්, කොළඹ කොටස් හුවමාරුව තුළ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයට, ද්‍රවශීලතා මට්ටම්වලට බාධා වන බාධක හඳුනා ගැනීමට ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලදී. තවද ඇමරිකා එක්සත් ජනපදය-චීනය වැනි රටවල් අතර සිදුවන භූදේශපාලනික ආතතීන් තුළින් ශ්‍රී ලංකා සුරැකුම්පත් වෙළෙඳපොළට තරඟකාරී වාසියක් ලබා ගැනීමට හැකි වන සාධක කෙරෙහි අවධානය යොමු කරමින් හිතකර ප්‍රතිපත්තියක් සහ නියාමන ප්‍රාග්ධන වෙළෙඳපොළ රාමුවක් සැකසීම ට කටයුතු කරන ලදී. මෙම කාර්යය හරහා අපේක්ෂා කළ තවත් අරමුණක් වුයේ මෝර්ගන් ස්ටැන්ලි කැපිටල් ඉන්ටර්නැෂනල් (MSCI) නැගී එන වෙළෙඳපොළ තත්ත්වය කරා ඔසවා තැබීමට ශ්‍රී ලංකාවට පුළුල් ලෙස පහසුකම් සැළසෙනු ඇති බවයි.

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළට දේපළ වෙළෙඳාම් ආයෝජන භාර (REIT) හඳුන්වා දීම

වර්ෂ 1997 දී සාංගමික ණය සුරැකුම්පත් හඳුන්වා දී වසර 23 කට පසු නව උපකරණයක් ලෙස ලයිස්තුගත දේපොළ වෙළෙඳාම් ආයෝජන භාර ප්‍රාග්ධන වෙළෙඳපොළට හඳුන්වා දීම විශේෂ සිදුවීමක් සනිටුහන් කර ඇත. දේපොළ වෙළෙඳාම් ආයෝජන භාරයට ලැබෙන ආදායමෙන් 90% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඒකක හිමියන් අතර බෙදා හැරෙන අතර දේපළ වෙළෙඳාම් ආයෝජන භාරයේ ආයෝජනය කරන ආයෝජකයන්ගෙන් ලැබෙන ප්‍රාග්ධනය දේපොළ වෙළෙඳාම් සහ යටිතල පහසුකම් සංවර්ධනයට යෙදවේ. මෙම දේපොළ වෙළෙඳාම් ආයෝජන භාර හරහා සුළු පරිමාණ ආයෝජකයන්ට දේපොළ වෙළෙඳාම් අංශයේ වර්ධනයෙන් සෘජුවම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. කළමනාකරණ සමාගම් වලට සහ REIT වල භාරකරුවන්ට අදාළ වන නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන අතර REIT ලයිස්තුගත කිරීම සක්‍රීය කිරීම සඳහා ලයිස්තුගත කිරීමේ නීති කෙටුම්පත් කරන ලෙස කොළඹ කොටස් හුවමාරුවට උපදෙස් දෙන ලදී.

• සුරැකුම්පත් හුවමාරු (SE) පනත් කෙටුම්පත සංශෝධනය කිරීම

සුරැකුම්පත් හුවමාරු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට සභාගත කර සැළකිය යුතු කාලයක් ගත වුවද එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ සාකච්ඡාවට ගැනීමට නොහැකි විය. කෙටුම්පත් කළ පනත නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් ආරම්භ කිරීමට සිදුවනු ඇත. මෙම කර්තව්‍යය සැළකිල්ලට ගනිමින්, නව කොමිෂන් සභාව මේ වන විට විධිවිධාන විස්තරාත්මකව සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටී. මේ සම්බන්ධයෙන් තවදුරටත් සලකා බැලීමේදී , නව සුරැකුම්පත් හුවමාරු පනත් කෙටුම්පත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි නීතියක් බවට පරිවර්තනය කිරීමට හා නව පනත සමඟ එකඟ වීමට අවශ්‍ය නීතිමය විශේෂඥතාව හා බුද්ධිමත්භාවයක් සහිත සභාපතිවරයකු හා කොමිසමක් සිටීම අපට වාසනාවකි.

• පුද්ගලික හා රාජ්‍ය හවුල්කාරිත්වය (PPP)

පුද්ගලික හා රාජ්‍ය හවුල්කාරිත්වය මගින් අවදානම් සහ වගකීම් බෙදාහදා ගැනීම තුළින් රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම කුසලතා හා සම්පත් ඒකාබද්ධ වන අතර එමඟින් තරඟකාරීත්වය වැඩිදියුණු වී රටට විශාල ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇත. රට තුළ යටිතල පහසුකම් මූල්‍යකරණ ක්‍රමයක් ලෙස පුද්ගලික හා රාජ්‍ය හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා, කොළඹ කොටස් හුවමාරුව තුළ පුද්ගලික හා රාජ්‍ය හවුල්කාරිත්වය සහිත යටිතල පහසුකම් ලයිස්තුගත කිරීමට හැකි ආකෘතියක් අපසකස් කරමින් සිටිමු.

• ඒකාබද්ධ මධ්‍යම ප්‍රතිපාර්ශව යාන්ත්‍රණය (CCP) සහ ගෙවීම් වලට එදිරිව බෙරුම්කිරීම (DVP)

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ස්ථිරවම විශ්වාස කරන්නේ වෙන වෙනම මධ්‍යම ප්‍රතිපාර්ශව ආයතන දෙකක් තිබීමට වඩා තනි මධ්‍යම ප්‍රතිපාර්ශව ආයතනයක් තිබීමෙන් රටට වාසි සැළසෙන බවයි. එම අදහස යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධ මධ්‍යම ප්‍රතිපාර්ශව ආයතනයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳව විමසා බලන ලදී. ගෙවීම් වලට එදිරිව බේරුම් කිරීමේ යාන්ත්‍රණයක් (DVP) ක්‍රියාත්මක කිරීම සඳහා වන මෙහෙයුම් කාර්යයන් සඳහා වන පිරිවැය මෑතකදී කොමිසම විසින් අනුමත කරන ලද අතර, කොළඹ කොටස් හුවමාරුව විසින් 2020 අවසාන කාර්තුවට පෙර ගෙවීම් වලට එදිරිව බේරුම් කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධතිමය වෙනස් කිරීම් සිදු කරමින් සිටී.

• පාර්ශවකරුවන් සමඟ පැවති සම්බන්ධතා

තවද, සභාපතිවරයා සහ නව කොමිෂන් සභාව විසින් සුරැකුම්පත් ක්ෂේත්‍රයේ නියලී සිටින පාර්ශවකරුවන් සමඟ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීම පිළිබඳ අදහස් ලබා ගැනීම සහ ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවලට විසඳුම් ලබාදීම සඳහා රැස්වීම් මාලාවක් පවත්වන ලදී. මෙම උපදේශන මගින් යටිතල පහසුකම් සංවර්ධනය හා ශක්තිමත් කිරීමටත් නියාමනයන් සරල කිරීමටත් අවබෝධයක් ලබා දී ඇත.

• ප්‍රතිපත්ති පර්යේෂණ හා විශ්ලේෂණ අංශය දියුණු කිරීම

නිරන්තරයෙන් වෙනස්වීම් වලට භාජනය වන ආර්ථික හා මූල්‍යමය තත්වයන් සමඟ නොගැළපීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව තුළ පර්යේෂණ හා ප්‍රතිපත්ති අංශයක් සැකසීමට හේතු විය. ප්‍රාග්ධන වෙළෙඳපොළට සහ සමස්තයක් වශයෙන් රටට ප්‍රයෝජනවත් විය හැකි ආර්ථික,වෙළෙඳපොළ උපායමාර්ග සහ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම හා යෝජනා කිරීම සඳහා අප ආයතනය පර්යේෂණ හා දත්ත විද්‍යාඥයාගේ කාර්යභාරය ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නැවත සලකා බැලීමේදී

2019 වර්ෂය තුළ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් ක්‍රියාකාරකම් රාශියක් ආරම්භ කරන ලද අතර ඒ පිළිබඳව ඉදිරි පිටුවල විස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත. හිටපු සභාපති රනෙල් ටී. විජේසිංහ මහතාට සහ කොමිෂන් සභාවටත් සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුනවර්ධන මහතාටත් 2019 වර්ෂය තුළදී කරන ලද දායකත්වය පිළිබඳව මාගේ අවංක අගය කිරීම සඳහන් කිරීමට කැමැත්තෙමි.

කොළඹ කොටස් හුවමාරුව හා සම්බන්ධ පුළුල් විගණනය

සුපරීක්ෂණ ක්ෂේත්‍රය තුළ, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් කොළඹ කොටස් හුවමාරුවට වසර පහක කාලයක් සඳහා ලබා දී ඇති බලපත්‍රය අළුත් කිරීමට පෙර කොටස් හුවමාරුවේ පාලනයන්, වෙළෙඳපොළ මෙහෙයුම්, ක්‍රියාවලීන් පිළිබඳ පුළුල් විගණනයක් සිදු කරන ලදී. තවද, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් ආයෝජක ප්‍රජාව ආරක්ෂා කිරීම සහ “නියමිත සහ සුදුසු” පුද්ගලයින්ට පමණක් බලපත්‍ර ලබා දීමේ අරමුණින් වෙළෙඳපොළ අතරමැදියන්ට අදාළ ලියාපදිංචි කිරීම් සිදු කරන ලදී.

ප්‍රාග්ධනය උත්පාදනයට පහසුකම් සැපයීම

ප්‍රධාන පුවරුවේ හා දිරිසවි පුවරුවේ ලැයිස්තුගත වීම සඳහා සුදුසුකම් සැපිරීමට හැකියාවක් නොමැති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ලැයිස්තුගත කිරීම සඳහා “එම්පවර් පුවරුව නමින් නව පුවරුවක් 2018 ජූලි මාසයේදී හඳුන්වා දීමට අප කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සමඟ කටයුතු කළෙමු. එය හඳුන්වාදීමෙන් පසුව, එහි ලයිස්තුගත කිරීම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සඳහා රට පුරා ව්‍යවසායකයින් සමඟ සම්බන්ධවෙමින් තෝරාගත් නගරයන්හී දේශණ සහ වැඩමුළු පවත්වන ලදී.

බහු මුදල් පුවරුවක් පිහිටුවීම (MCB) ගනු ලැබූ තවත් ප්‍රධාන පියවරක් වන අතර එමගින් විදේශීය සමාගම්වල කොටස් ශ්‍රී ලංකාව තුළ ලයිස්තුගත කර විදේශ මුදල්වලින් වෙළෙඳාම් කිරීමේ හැකියාව ලැබේ.සළකා බලන වර්ෂය තුළදී සාංගමික ණයකර ලයිස්තුගත කිරීමට අදහස් කරන දේශීය සමාගම්වලට බහු මුදල් පුවරුවේ MCB පහසුකම් වැඩිකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද විමසා බලන ලදී.

ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ආයෝජන දිරිමත් කිරීම

ශ්‍රී ලංකාවට සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්, කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව එක්ව සිංගප්පූරුවේදී “Invest Sri Lanka” තේමාව යටතේ සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර එයට විදේශීය ආයෝජක ප්‍රජාවගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණි. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ පෙන්වාදීමේ සහ දැනුවත් කිරීමක් ඇති කිරීමේ උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින විදේශ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා හිටපු සභාපති රනෙල් විජේසිංහ මහතා ද සාකච්ඡා මාලාවක් ආරම්භ කළේය.

පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ වන්දි ලබා දීම

ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අපගේ ප්‍රධාන නියාමන අරමුණු වලින් එකකි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, සුළු පරිමාණ ආයෝජකයින්ට ඔවුන්ගේ පැමිණිලි විසඳා ගැනීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් සැපයිය යුතුය. ඒ අනුව සමාලෝචනයට භාජනය වූ කාල පරිච්ඡේදය තුළදී, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය ස්වාධීන, සාධාරණ හා කාර්යක්ෂම බව සහතික කිරීම සඳහා කටයුතු කළේය.

ලයිස්තුගත පොදු සමාගම් සහ විගණකවරුන් සමඟ පැවති සාකච්ඡා

අප නිරන්තරයෙන් අපගේ පාර්ශවකරුවන් වෙත ළඟා වෙමින් සාකච්ඡාවන් පවත්වමින් ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටළු පිළිබඳව පුළුල් ලෙස අදහස් ලබාගන්නා ගත්තේය. සළකා බලන වර්ෂය තුළදී, හිටපු සභාපති රනෙල් විජේසිංහ මහතාගේ අනුග්‍රහය යටතේ, වෙළෙඳපොළ සහභාගීකරුවන්, ඔවුන්ගේ වගකීම් අවබෝධ කර ගැනීම සහතික කිරීම සඳහා අනුකූලතාව, පවත්නා නීති වෙනස් කිරීම සහ ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි පවතින වර්තමාන ගැටළු සම්බන්ධයෙන් ලයිස්තුගත සමාගම්, විගණකවරුන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡාවක් පැවත්වුවෙමු.

වරලත් මුල්‍ය විශ්ලේෂකයින්ගේ සංගමය (CFA Society) සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීම

සළකා බලන වර්ෂය තුළදී, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වරලත් මුල්‍ය විශ්ලේෂකයින්ගේ සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණු අතර එමගින් අපේක්ෂා කළේ ආයතන දෙක එක්ව වැඩකරමින් ශ්‍රි ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ අචාරධර්ම සංග්‍රහයන් සහ ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීමයි. තවද ආයෝජකයින්ගේ අයිතිවාසිකම් සහ ඒකාබද්ධ අධ්‍යාපනික වැඩසටහන් පිළිබඳව සහයෝගයෙන් කටයුතු කිරීමටත් එමගින් බලාපොරොත්තු විය.

ලයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තුළ ස්ත්‍රී පුරුෂ විවිධත්වය ප්‍රවර්ධනය කිරීම

2019 ජාතික අයවැයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැළකිල්ලට ගනිමින් රාජ්‍ය ලයිස්තුගත සමාගම්වල ස්ත්‍රී පුරුෂ විවිධත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පවත්වනු ලබන විවිධ වැඩසටහන් සඳහා පහසුකම් සැලසීමට කාර්ය සාධක බලකායක් පිහිටුවන ලදී.

ආයෝජකයින් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් සවිබල ගැන්වීම

සුළු පරිමාණ ආයෝජකයින්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ජනතාව අතුරින් වැඩි පිරිසකට මුල්‍ය සාක්ෂරතාවය ලබාදීමේ අරමුණින් රට පුරා සිසුන්, ගුරුවරුන්, උපාධි අපේක්ෂකයින්, ආයෝජකයින් සහ අනාගතයෙදී ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ආයෝජකයින් සඳහා බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කළේය. ප්‍රාග්ධන වෙළෙඳපොළේ නියැලී සිටින වෙළෙඳපොළ වෘත්තිකයන්ගේ දක්ෂතා හා හැකියාවන් වැඩිදියුණු කිරීමට හැකිවන පරිදි ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ රැකියා ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා නව වෘත්තීය අධ්‍යාපන රාමුවක් සිය පුහුණු හා සංවර්ධන අංශය හරහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබීය.

ඉදිරියට ගමන් කිරීම

ඉදිරියට යමින්, නිශ්චිත කාලරාමු තීරණය කරමින් සහ වැදගත් අංශයන් කිහිපයක් ඔස්සේ ස්ථිර ප්‍රතිඵල ලබා ගැනීමේ අරමුණ ඇතිව කටයුතු කිරීම සඳහා පුළුල්ව සිතා බැලිය යුතු කාලය මෙය යැයි මම සිතමි.

රජයේ සහයෝගය හා දිරිගැන්වීම් භුක්ති විඳීමට අපි සැබවින්ම වාසනාවන්ත වෙමු. ස්ථිර ප්‍රතිපත්තිවලට අනුව වැඩ කිරීම සහ රජයේ කැමැත්ත අපගේ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වී තිබේ. අපගේ මෙහෙයුම් ස්වාධීනත්වයට රජය දක්වන සහයෝගය කිසි විටෙකත් අඩපණ වී නැත. මෙය ජාත්‍යන්තර නියාමකයෙකු සඳහා අත්‍යවශ්‍ය පදනමක් වන අතර, ප්‍රාග්ධන වෙළෙඳපොළකටයුතු මෙහෙයවන හෝ ප්‍රාග්ධන වෙළෙඳපොළේ නිරත වීමට අදහස් කරන සැමට විශ්වාසයක් ලබා දෙයි. මේ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත ලබාදුන් සියළුම සහයෝගයන් සහ අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමාට සහ භාණ්ඩාගාරයේ ලේකම් සජිත් ආටිගල මහතාට මාගේ අවංක කෘතඥතාව පිරිනැමීමට කැමතිය.

දක්ෂ ජනාධිපති නීතීඥවරයෙකු ලෙස, සභාපතිතුමාගේ ඥාණවන්ත උපදෙස් සහ නොවරදින සහයෝගය අපගේ කාර්යයන්හී සෑම පියවරකදීම බෙහෙවින් අගනේය. ආයතනය වෙනුවෙන් සහ අප කෙරෙහිත්, පෞද්ගලික මට්ටමන් මා කෙරෙහිත් තබා විශ්වාසය වෙනුවෙන් මම ඔහුට අවංකවම ස්තූතිවන්ත වෙමි. කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ නොවරදින සහයෝගය, වටිනා උපදෙස් සහ සාමූහික අදහස් ලබාදීමේදී , ඇතැම් විට ඔවුන්ගේ පෞද්ගලික හා වෘත්තීයමය කාලය කැපකිරීම වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙමි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යභාරය සාක්ෂාත් කර ගැනීමේදී අපගේ කාර්ය මණ්ඩලයේ ඉහළ සහභාගීත්වය, කාර්ය සාධනය, සහ විශ්වාසය මා බෙහෙවින් අගය කරමි. එබැවින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ මානව ප්‍රාග්ධනය තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරමි. අවසාන වශයෙන්, මාගේ අධ්‍යක්ෂවරුන්ට, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට සහ සමස්ත කාර්ය මණ්ඩලයට හදපිරි ස්තූතිය පිරිනැමීමට කැමතිය

නිවැරදි දිශාවට නව උද්යෝගයක් සහිත සහ වේගවත් ගමනක් මම දකිමි. උද්යෝගිමත් පුද්ගලයන් පිළිබඳව ප්‍රංශ විප්ලවයේ ආරම්භයේ සිටි වර්ඩ්ස්වර්ත් පැවසූ පරිදි, “ හිමිදිරි උදෑසන ජීවත්ව සිටීම සතුටක්”.

අපගේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ මෙතෙක් භාවිතයට නොගත් හැකියාවන් අඛණ්ඩව සමාලෝචනය කර අපගේ ප්‍රවේශය නැවත සකස් කරගනිමින් සාර්ථකත්වයන් ගොඩනැංවීමට මම බලාපොරොත්තු වෙමි.

සභාපතිතුමාගේ කාර්යාලය

ලේකම්

Phone : 0112 143810
Sinhala