අධ්‍යක්ෂ ජනරාල්

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්

අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ සමාලෝචනය 2021

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් 2021 වර්ෂය තුල ක්‍රියාවට නංවන ලද කාර්යයන්හි සමාලෝචනයක් ඉදිරිපත් කරන්නේ මා ඉතාමත් තෘප්තියකිනි.

වෙ‍ෙළඳපොළ කෙටියෙන්

2021 වර්ෂය දෙස නැවත හැරී බලන විට, අවිවාධයෙන්ම පැවසිය හැක්කේ එය ශ්‍රී ලංකා සුරැකුම්පත් වෙළෙඳපොළට ඉතාමත් සාර්ථක වසරක් බවයි. 2020 වසර සමඟ සසඳන විට, 2021 වසර තුළ සියලු කොටස් මිළ දර්ශකය 80% කට වඩා වැඩි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කල බව පළමුවෙන්ම පැවසීමට කැමැත්තෙමි. මෙය 2011 වර්ෂයෙන් පසුව සියලු කොටස් මිළ දර්ශකය වාර්තා කල ඉහළම වර්ධන වේගය වේ. ඒ හා සමානවම S&P ශ්‍රී ලංකා 20 මිළ දර්ශකය ද 60% කට වඩා වැඩි වර්ධන වේගයක් පෙන්නුම් කරන ලදි. කොළඹ කොටස් වෙ‍ෙළඳපොළ ලෝකයේ දෙවන හොඳම ක්‍රියාකාරී වෙළෙඳපොළ ලෙස පිළිගැනීමට මෙම වර්ධන වේගයන් හේතු විය. තවද, පසුගිය වර්ෂයේ වාර්තා කල රුපියල් බිලියන 1.8 ක සාමාන්‍ය දෛනික පිරිවැටුමට සසඳන විට මෙම වර්ෂය තුල සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් බිලියන 4.8 ලෙස වාර්තා විය. කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව එක්ව ක්‍රියාවට නංවන ලද වෙ‍ෙළඳපොළ ඩිජිටල්කරණයයෙහි ප්‍රතිඵලයක් ලෙස නව මධ්‍යම තැන්පතු ගිණුම් විවෘත වීම සහ දේශීය ආයෝජකයින් සුරැකුම්පත් වෙළෙඳපොළ කෙරෙහි උනන්දුව වැඩි වීම සාමාන්‍ය දෛනික පිරිවැටුමෙහි දෙගුණයක වර්ධනයට හේතු විය.

තවද, සුරැකුම්පත් වෙ‍ෙළඳපොළ රටේ ආර්ථිකයට ලබාදී ඇති දායකත්වය මනාව පිළිඹිබු කරමින් පසුගිය වසර දහය තුල ප්‍රථම වතාවට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සියයට තිස් පහක් (35%) ඉක්මවා යන ලදි. වෙ‍ෙළඳපොළේ සාමාන්‍ය දෛනික පිරිවැටුම් මට්ටම් ඉහල යාම හේතුවෙන්, 2020 වසරේ වාර්තා කල සියයට දාසය (16%) හා සැසඳීමේදී මෙම වසර තුල වෙළඳපොළ පිරිවැටුමට වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට හතලිහක් (40%) දක්වා වර්ධනය විය. වෙ‍ෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ සීග්‍ර වර්ධනයට ප්‍රධානතම හේතුව ලෙස දේශීය ආයෝජකයින්ගේ දායකත්වය ආරෝපණය කල හැකි අතර එය දළ වශයෙන් සියයට අනූ පහක් (95%) ක් පමණ වේ

නිකුත් කරන්නන්ගේ මුල්‍ය රැස්කිරීමේ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමෙහිලා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බව ඔබ දැන සිටිනවා විය හැකිය. ඒ නිසාම 2021 වසර තුල කොටස් වෙ‍ෙළඳපොළ ප්‍රාථමික කොටස් නිකුතු (IPO) ප්‍රමාණයේ ඉතා ඉහල වර්ධනයක් පෙන්නුම් කල අතර මෙම වසර තුල ප්‍රාථමික කොටස් නිකුතු ප්‍රමාණය 13ක් විය. ප්‍රාථමික කොටස් නිකුතු වල මෙවැනි වර්ධනයක් අවසන් වරට වාර්තා වූයේ 2011 වර්ෂයේදීය. මෙලෙස ප්‍රාථමික කොටස් නිකුතු ප්‍රමාණයේ ඉහල යාම 2021 දෙසැම්බර් 31 දිනට පෙර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමට නියමිත දේශීය සමාගම් සඳහා සියයට පනහක (50%) බදු සහනයක් ලබාදීමේ යෝජනාව සහ එවැනි සමාගම් සඳහා ඉදිරි වසර තුන (3) තුල සියයට දාහතරක් (14%) වූ ආයතිනක බදු අනුපාතයක් හඳුන්වාදීමේ යෝජනාව වැනි අයවැය යෝජනා කිහිපයක් හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ඉටුකළ ක්‍රියාකාරී භුමිකාවේ ප්‍රතිඵලයක් වේ. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුල වෙළෙඳපොළ තුලින් ප්‍රාථමික කොටස් නිකුතු හරහා රුපියල් බිලියන 12.7 ක් රැස්කිරීමේ හැකියාව ලැබී ඇත. කොටස් වෙ‍ෙළඳපොළ පමණක් නොව ණය වෙළෙඳපොළ ද ප්‍රාග්ධනය රැස්කිරීම සඳහා පැහැදිලි දායකත්වයක් ලබාදී ඇති අතර සලකා බලන වර්ෂය තුල ප්‍රාථමික ණය නිකුතු තුලින් රුපියල් බිලියන 84 කට වඩා වැඩියෙන් රැස්කර ඇත. පසුගිය වසර පුරාවට කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින් එම්පවර් පුවරුවේ ලැයිස්තුගත වීම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනු අපි දුටුවෙමු. මෙම සංඛ්‍යාලේඛන සියල්ල තුලින් වර්ධන ප්‍රවණතාවයක් පෙන්නුම් කරන නමුත් වෙ‍ෙළඳපොළ ශුද්ධ විදේශ ගෙවීමක් වාර්තා කල අතර මෙම අවස්ථාවේ ඉදිරිපත් වූ දේශීය ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වය තුලින් එම සෘණාත්මක බලපෑම අවම කරගැනීමට හැකි විය. වෙළෙඳපොළ පිළිබඳ විමසා බැලීමේදී ආර්ථිකයේ පැවති අඩු පොලී අනුපාත තුලින් වෙ‍ෙළඳපොළ සහ එහි ක්‍රියාකාරීත්වය කෙරෙහි වූ ධනාත්මක බලපෑම නොසලකා හැරිය නොහැක.

කෙසේ වෙතත්, මා මෙම සමාලෝචනය ඉදිරිපත් කරන මේ මොහොතේ අපේ රට ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් පීඩනයට ලක්ව ඇති අතර වෙ‍ෙළඳපොළ තුලින්ද එය මනාව පිළිඹිබු වේ. අභියෝගයන්ට මුහුණ දෙමින් මෙම මුල්‍ය හා ආර්ථික දුෂ්කරතාවයෙන් මිදීම සඳහා කලයුතු දෑ තේරුම් ගැනීම සහ ඒවා ක්‍රියාවට නැංවීමට ඉක්මන් සහ දැඩි පියවර ගැනීම ඉතා වැදගත් වේ.

එහෙත්, අවිනිශ්චිතතා මධ්‍යයේ වුවද පසුගිය වසර තුල ලැයිස්තුගත සමාගම් සමඟ කොටස් වෙළෙඳපොළ වාර්තාගත වර්ධනයක් ලබාගෙන ඇති බව අවධාරණය කල යුතුය. ඇත්ත වශයෙන්ම, පවතින අස්ථාවර ආර්ථික තත්වය පෞද්ගලික අංශය පුනර්ජීවනය කිරීමේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා අවස්ථාවක් කරගත හැකි අතර එය මේ මොහොතේ අවැසි විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් ක්‍රියාමාර්ග ගැනීම තුලින් රට නැවත ගොඩනැගීමට රුකුලක් වනු ඇත.

කෙසේ වෙතත්, රටේ ස්වභාවික සම්පත්, උපායමාර්ගික පිහිටීම, ඉහළ හැකියාවන්ගෙන් යුක්ත ශ්‍රම බලකාය, සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනයට ඇති අවස්ථා, තොරතුරු තාක්ෂණ සක්‍රීය සේවා, සැපයුම්, ඉහළ අගය එකතු කල ඇඟලුම්, ආහාර සහ කෘෂිකර්මය යනාදී කිසිවක් වත්මන් තත්වය යටතේ කුමන ආකාරයකින්වත් වෙනස් වී නොමැත. එවන් පසුබිමක් තුල නිසියාකාර ප්‍රතිපත්ති සහ භාවිතයන් අනුගමනය කරමින් සමාගම් වලට තම අපනයන ශක්තිමත් කරගැනීමට සහ නිෂ්පාදනය නඟා සිටුවීමට සහයෝගය දක්වන්නේ නම් ඒ තුලින් රටට ආනයන බිල්පත් පියවීමට සහ වර්ධන ඉලක්ක කරා ළඟාවීමට හැකියාව ඇති අතරම එමඟින් රටේ විදේශීය ණය වඩාත් තිරසාර පදනමක් මත තැබීමට සහය ලැබේ. එබැවින්, ආර්ථිකය ගොඩනැංවීමට සහ පෞද්ගලික අංශය පුනර්ජීවනය කිරීමට ප්‍රාග්ධනය රැස් කිරීම සඳහා කොටස් වෙළඳපොළට තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇත. එම නිසා පළමුව ඩොලර් ආදායම් උපයන ලැයිස්තුගත සමාගම් අතරින් ඔවුන්ගේ හැකියාව, ඉදිරියට යාම සහ කැපවීම මත වඩා ක්‍රියාකාරී සමාගම් තෝරා ගැනීමට සහ දෙවනුව එම සමාගම් දිරිමත් කිරීම සහ පෝෂණය කිරීමට කාලය පැමිණ ඇත. තෙවනුව, අපේ රටේ සමස්ත ස්වරුපයම වෙනස් කරමින් ආර්ථික වර්ධනයේ ප්‍රගතියක් ලබාගැනීමට ගෝලීය දැවැන්තයින් සමඟ තරඟ කිරීමට මෙම සමාගම් වලට නිදහස ලබාදිය යුතු වේ. එමඟින් අපව ගතික ව්‍යවසායක රාජ්‍යයක් බවට පරිවර්තන කරනු ඇති අතරම රටෙහි සැබෑ විභවය අවබෝධ කරගැනීමටද එය උපකාර වනු ඇත. එබැවින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට වෙ‍ෙළඳපොළ නියාමනය කිරීමේදී සාම්ප්‍රදායික භූමිකාවට සීමා විය නොහැකි අතරම ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීමට තවදුරටත් සාම්ප්‍රදායික ප්‍රවේශය භාවිතා කල නොහැකි වේ. මෙම පසුබිම යටතේ, මෙවැනි ආර්ථික තත්වයක් තුල සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අත්පත් කරගත් ජයග්‍රහණ පිළිබඳව සමාලෝචනයක් ඉදිරිපත් කිරීමට ලැබීම මම ගෞරවයක් ලෙස සලකමි.

සුසමාදර්ශී වෙනසක්: 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත බලාත්මක කිරීම

2021 සැප්තැම්බර් 21 වන දින කථානායකවරයා විසින් සහතික කිරීමෙන් පසුව, 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත ඉවත් කරමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ බලාපොරොත්තුව සිටි 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත බලාත්මක කරන ලදි (නව පනත). මෙම නව පනත බලාත්මක කිරීමත් සමඟ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නියාමනය සහ වෙළෙඳපොළ සංවර්ධනයෙහි කාර්යක්ෂමතාව, පුරෝකථනය කිරීමේ හැකියාව සහ අනුකුලතාවය ඉලක්ක කරගත් ඵලදායී නියාමනයක් සක්‍රීය කරනු ලබයි. මෙම පනත අනාගතවාදී වේ. එමඟින් අනෙකුත් සංවර්ධිත වෙ‍ෙළඳපොළවල් වලට අනුකුල වූ වර්ධනයක් අපේක්ෂා කරනු ලබයි. නව පනත මඟින් ගෙන එන ලද නියාමන පාලන තන්ත්‍රය තුලින් වෙළෙඳපොළට අදාළ වන නීති සහ එහි ඇතුලත් කැපීපෙනෙන ලක්ෂණ පිලිබඳ වඩා පැහැදිලි බවක් ලබා දේ. මෙම නව නීතිය සමෝධානික වන අතර එමඟින් නියාමනය සහ වෙ‍ෙළඳපොළ සංවර්ධනය යන දෙඅංශයම එකසේ ප්‍රවර්ධනය කිරීම සහතික කරනු ලබයි.

වෙළෙඳපොළ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ රාශියක් අතුරින් ප්‍රතිපාර්ශවීය අවදානම් අවම කරගැනීම සඳහා මධ්‍යම ප්‍රතිපාර්ශවීය යාන්ත්‍රණයක් ඇති කිරීම සහ සුරැකුම්පත් වෙ‍ෙළඳපොළ තුල වඩා හොඳ අවදානම් කළමනාකරණයක් සඳහා ප්‍රතිපාදන සැලසීම ප්‍රධාන වේ. ව්‍යුහගත ණය ගැනීම් හා ණය ලබාදීම් සහ නියාමනය කරන ලද හිඟ වෙළෙඳාම් යාන්ත්‍රණයක් (short selling) සඳහා පහසුකම් සලසමින් නව පනතේ ඇති ප්‍රතිපාදන තුලින් නිසැකවම වෙ‍ෙළඳපොළට අත්‍යවශ්‍යවම වන ද්‍රවශීලතා අවශ්‍යතා සපුරාලීම සඳහා දායකත්වය ලබා දේ. තවද, නව පනත මඟින් වෙළෙඳපොළට නව ආයෝජන උපකරණ රාශියක් හඳුන්වාදීමේ හැකියාව ලැබී ඇත. නිදසුනක් ලෙස වෙ‍ෙළඳපොළ සාදන්නන් හඳුන්වාදීම තුලින් වෙළෙඳපොළ තුල ප්‍රමාණවත් ද්‍රවශීලතා මට්ටම් පවත්වාගෙන යාම සහතික කරයි.

නව පනත පිලිබඳ විශාල වශයෙන් සාකච්ඡාවට ලක්වූ නිසා එහි ඇතුලත් වන විශේෂ ලක්ෂණ පිළිබඳව ඔබ දැනටමත් දැනුවත් බව මම විශ්වාස කරමි. එසේ වුවත්, ඉහත සඳහන් කරුණු වලට අමතරව මෙම පනතේ සඳහන් යම් ප්‍රධාන ලක්ෂණ පිළිබඳව මා මෙම සමාලෝචනයේ සඳහන් නොකළහොත් එය අඩුවක් වනු ඇත. කොටස් VII කින් සමන්විත නව පනත තුල වෙ‍ෙළඳපොළ අතරමැදියන් සඳහා පමණක් නොව වෙළෙඳපොළ ආයතන සහ අතිරේක සේවා සපයන්නන් වැනි නව කාණ්ඩ ඇතුලත් වන අතරම අපරාධමය වැරදි සම්බන්ධයෙන් පැරණි පනතට වඩා වෙනස් ආකාරයේ බලාත්මක කිරීමේ යාන්ත්‍රණයක් සඳහා පහසුකම් සලසනු ලබයි. මා එසේ පැවසීමට කරුණ නම් නව නීතිය තුල සියලුම ආකාරයේ වැරදි අන්තර්ගත වන අතර වරදක් විය හැකි හැසිරීම් පිලිබඳ ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. මේ හා සම්බන්ධව පැවති නීතියේ යම් අපැහැදිලිකමක් වේද ඒ සියල්ල ඉවත් කරමින් ව්‍යතිරේක සහ විත්තිවාචිකයන් ද නව නීතිය තුල පැහැදිලිව සඳහන් කර ඇත. “තහනම් හැසිරීම්” ලෙස වර්ග කර ඇති සියලුම වැරදි (ව්‍යාජ වෙළෙඳාම් කිරීමේ සහ වෙ‍ෙළඳපොළ මිල ගණන් කෘත්‍රිම ලෙස උස් පහත කිරීමේ ගනුදෙනු, කොටස් වෙළෙඳපොළ අයුතු ලෙස හැසිරවීම්, අසත්‍ය හෝ නොමඟ යවනසුලු ප්‍රකාශ, සුරැකුම්පත් ගනුදෙනු කිරීමට වංචනික ලෙස තැනැත්තන් පෙළඹවීම සහ අයුතු ලෙස හැසිරවීමේ සහ රැවටිලි සහගත උපක්‍රම භාවිතා කිරීම) සහ අභ්‍යන්තරික තැනැත්තන් විසින් වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් දැන් මහාධිකරණය විසින් අධිචෝදනා පත්‍රයක් නිකුත් කරනු ලබූ පසු නඩු විභාග කරනු ලැබිය යුතුය. නව පනතේ විධිවිධාන අනුව යම් තැනැත්තෙකු යම් වරදකට වරදකරු කරනු ලැබූ විට දී රුපියල් මිලියන දහයකට නොඅඩු දඩයකට හෝ වසර දහයක් (10) නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඒ තැනැත්තා යටත් විය යුතුය.

තවද, පනතේ විධිවිධාන අනුව හානියට අදාළ මුදල් ආපසු අයකර ගැනීම සඳහා හෝ සිවිල් දණ්ඩන පැනවීම සඳහා වාණිජ මහාධිකරණයේ සිවිල් ප්‍රතිකර්ම පැනවීමටද පනත මඟින් හැකියාව ලැබී ඇති බව කිව යුතුමය. පනතේ “වෙ‍ෙළඳපොළ විෂමාචාරය” යන කොටස යටතේ උල්ලංඝනයක් සිදු කළ තැනැත්තෙකුට එරෙහිව එවැනි නඩු පැවරිය හැකිය. එසේ පැවසීමේදී, මෙවැනි නඩු පැවරීම සඳහා කොමිෂන් සභාව තීරණය කරනු ලබන්නේ පනතේ දක්වා ඇති පූර්වාදර්ශයන්ට එනම්, එම කඩ කිරීමේ ස්වභාවය සහ ආකාරය, ඉන් වෙළෙඳපොළට ඇතිවන බලපෑම සහ යම් ආයෝජකයෙකුට ඇති වූ පාඩුවේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන එසේ කිරීමට අවශ්‍ය යැයි කොමිෂන් සභාව සලකන අවස්ථාවක බව අනිවාර්යයෙන්ම කිවයුතු වේ.

පනතේ තවත් කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ පරිපාලනමය දණ්ඩන නියම කිරීමට කොමිෂන් සභාවට බලය හිමිවීමයි. මේ අනුව, උල්ලංඝනය කිරීමේ ස්භාවය සහ ආකාරය, එමඟින් වෙ‍ෙළඳපොළට ඇතිවන බලපෑම සහ ඕනෑම ආයෝජකයෙකුට ඇතිවන පාඩුවේ ප්‍රමාණය මත පරිපාලනමය දණ්ඩන එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පැනවීමේ බලය කොමිෂන් සභාව සතුවේ. ඉහත සඳහන් කල කරුණු අතරට තවත් යමක් එකතු කරනවානම්, පනතේ ඇති වගන්ති ප්‍රකාරව පරීක්ෂණයක් සිදු කරමින් පවතින හෝ යම් තැනැත්තෙකු විමර්ශනයට ලක් කරමින් පවතින අවස්ථාවක අධිකරණයේ ස්ථිර කිරීමට යටත්ව නිකුත් කළ දින සිට වෙළෙඳපොළ දින හතක් දක්වා බලාත්මක වන අවුරා තැබීමේ නියෝග නිකුත් කිරීම මගින් ආයෝජකයින්ගේ වත්කම් ආරක්ෂා කිරීමේ බලය කොමිෂන් සභාව වෙත පවරා ඇති අතර යම් ආසන්න කඩවීම් වැළක්වීම සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී උසාවි නියෝග ගැනීමේ බලයද පවරා ඇත.

ආයෝජකයින්ගේ විවිධ අවදානම් සහ ප්‍රතිලාභ පැතිකඩයන් සඳහා නව නීතිය මඟින් පහසුකම් සපයයි. නිදසුනක් වශයෙන් ප්‍රතීත ආයෝජකයින් හඳුන්වාදීම තුලින් නිකුත් කරන්නන්ට ඉහළ අවදානම් සහිත සුරැකුම්පත් නිකුත් කිරීමේ හැකියාව ලැබෙන අතර ඉහළ අවදානම් දැරීමට හැකි ආයෝජකයින්ට එවැනි නිකුත් කිරීම් තුලින් ප්‍රතිලාභ ලබාගැනීමට අවකාශ හිමිවේ. ආයතනවල අකටයුතුකම් දැනුම් දෙන්නන් සම්බන්ධ විධිවිධාන හඳුන්වාදීමද අවධානයට ලක්විය යුතු කරුණක් වන්නේ එය වෙ‍ෙළඳපොළ වැරදි සම්බන්ධයෙන් තොරතුරු සපයන්නන් ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බැවිනි. මේ සියල්ල තුළින් පවතින නීතිය සුමට ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබී ඇත.

කාර්යක්ෂම සහ විශ්වාසදායක වෙළෙඳපොළක් සඳහා මනා යටිතල පහසුකම්

ගෙවීම් වලට එදිරිව බේරුම්කිරීම (Delivery vs Payment) හඳුන්වාදීම තුලින් තැන්පතුගාර වල අවදානම් කළමනාකරණ රාමුව වැඩිදියුණු කිරීමට හේතු වනු ඇත. ගෙවීම් වලට එදිරිව බේරුම් කිරීම මඟින් වත්කම් කැපවීමේ අවදානම අවම කිරීම වෙ‍ෙළඳපොළ කෙරෙහි ආයෝජක විශ්වාසය වර්ධනය වීමට හේතු වේ. ගෙවීම් වලට එදිරිව බේරුම්කිරීම පිහිටුවීම තුලින් නැගී එන වෙළෙඳපොළවලට අනන්‍ය වූ එක් අංගයක් නැතහොත් අවශ්‍යතාවයක් සපුරාලන බව මා පවසන්නේ ඉතාමත් තෘප්තියකිනි. මින් ඔබ්බට ගමන් කිරීම සඳහා මධ්‍යම ප්‍රතිපාර්ශවීය යාන්ත්‍රණය (Central Counter Party) ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ඒකාබද්ධ කමිටුවක් පිහිටුවන ලදි. මෙම මුලපිරීමත් සමඟ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර නුදුරු අනාගතයේදී මධ්‍යම ප්‍රතිපාර්ශවීය යාන්ත්‍රණය පිහිටුවීම මල්පල ගැන්වෙනු ඇති බව මාගේ විශ්වාසයයි.

බහු-විධි මුදල් පුවරුව හඳුන්වාදීමත් සමඟ දේශීය සමාගම් වලට ඔවුන්ගේ අරමුදල් අවශ්‍යතා සපුරාගැනීමට විදේශීය වටිනාකම් සහිත සුරැකුම්පත් නිකුත් කිරීමේ හැකියාව ලැබී ඇති අතර එමඟින් අපනයන/ආනයන ක්ෂේත්‍රයන්ට සැලකිය යුතු නිරාවරණයක් ඇති සමාගම් වලට ඔවුන්ගේ මුදල් සම්බන්ධ අවදානම් වලින් ආරක්ෂා වීමට ඉඩ සැලසේ. රටේ පවතින වත්මන් තත්වය හමුවේ දේශීය ආර්ථිකයට විදේශ මුදල් ගලා ඒම සඳහා මෙම මුලපිරීම පහසුවක් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

කොළඹ කොටස් හුවමාරුවේ OTC වේදිකාව හරහා ණය සුරැකුම්පත් නැවත මිලදී ගැනීමේ ගනුදෙනු හා සම්බන්ධ ගිවිසුම් සඳහා අදාළ වන ප්‍රතිපත්ති ව්‍යුහය සකස් කිරීම අවසන් කිරීම තුලින් ආයෝජකයින්ට ඔවුන්ගේ ආයෝජන සිදු කිරීමේදී පුළුල් තේරීමක් ලබා දෙනු ඇත. එපමනක් නොව, ප්‍රාථමික නිකුතු ලැයිස්තුගත කිරීමේ රාමුව පුළුල් කිරීම ඵලදායී වූ බව මා ඉතා සතුටින් සහ තෘප්තියෙන් පවසන්නේ ඒසමඟ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික අවශ්‍යතා සහිත සමාගම් රාශියක් ලැයිස්තුගත වූ බැවිනි.

ඩිජිටල්කරණය සමඟින් ඉදිරියට

ඩිජිටල්කරණය යන මාතෘකාව දෙසට අවධානය යොමු කරනවානම්, කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් කොමිෂන් සභා සාමාජිකයන් වන නරේෂ් අබේසේකර සහ මනිල් ජයසිංහ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ පත්කරන ලද ඒකාබද්ධ කමිටුව මඟින් වෙළඳපොල තුල විප්ලවීය වෙනසක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර එමඟින් කොළඹ කොටස් හුවමාරුවේ සියලුම මෙහෙයුම් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. දේශීය සමාගම් වලට නව ගිණුම් විවෘත කිරීම සඳහා CSE ජංගම දුරකථන මෘදුකාංගය හඳුන්වාදීම, CDS e-connect හඳුන්වාදීම සහ ඉලෙක්ට්‍රොනික ප්‍රාථමික නිකුතු හඳුන්වාදීම සිදු කරමින් ඩිජිටල්කරණයේ දෙවන අදියර අවසන් කර දැන් අපි තුන්වන අදියරට පැමිණ ඇත.

ආයෝජකයින්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමේ අදහසින් Chat Bot සහ Google Assistant දෙවන අදියර යටතේ හඳුන්වාදෙන ලදී. මෙම මුල පිරීම් තුලින් ආයෝජකයෙකුට සුරැකුම්පත්වල ආයෝජනය කිරීමේ පහසුව මත වෙ‍ෙළඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කරනු ඇති බවට මම විශ්වාස කරමි.

ඩිජිටල්කරණයේ තුන්වන අදියර යටතේ, CSE ජංගම යෙදුම තුලින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම්ව සිටින විදේශීය පුද්ගලයන්ට සහ සහ විදේශ සමාගම් වලට කිසිදු අපහසුවකින් තොරව සුරැකුම්පත් ගිණුම් විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇති බව අපි විශ්වාස කරමු. මා ඉහත පැවසූ කරුණු වලට අමතරව, තුන්වන අදියර යටතේ හඳුන්වාදීමට නියමිත තවත් විශේෂාංග පිළිබඳ සඳහන් කරනවානම්, ඉලෙක්ට්‍රොනික හිමිකම් නිකුත් කිරීම (e-right issue), ඉලෙක්ට්‍රොනික ප්‍රතිමිලදී ගැනුම්/අනිවාර්ය අර්පණ (e-repurchase/mandatory offer), ආන්තික ණය සැපයුම්කරුවන් (වත්කම් පන්ති අතර බාධාවකින් තොරව අරමුදල් මාරු කිරීම) යනාදිය වේ.

ආයෝජකයින්ට සහ නිකුත්කරන්නන්ට තෝරාගැනීම් සමූහයක්

සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික ආයෝජකයා රත්‍රන් සහ නිශ්චල දේපළ සඳහා විශාල වටිනාකමක් ලබා දෙන බව කවුරුත් දන්නා කරුණකි. මෑතකදී, කොළඹ කොටස් හුවමාරුවේ OTC පුවරුව හරහා රන් ආශ්‍රිත සුරැකුම්පත් (Paper Gold) ගනුදෙනු කිරීම සඳහා පහසුකම් සැලසීමට කොමිෂන් සභාව ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදි. මේ වන විට කොළඹ කොටස් හුවමාරුව මගින් මෙම මුල පිරීම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරමින් පවතින අතර මෙම මුලපිරීමෙහි අරමුණ වනුයේ ආයෝජකයන්ට ආදායම් උපයාගත හැකි මුලාශ්‍රයක් ලෙස ක්‍රියාකරන අතරම රටට නව ආදායම් මාර්ගයක් ලෙස ක්‍රියා කිරීමයි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කිරීම මඟින් නිශ්චල දේපළ ආයෝජන භාර ((REITs) පිළිබඳ රීති නීති ගත කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ආයෝජන මාර්ගයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට පාර්ශවකරුවන්ට අවස්ථාව ලබා දී ඇත. 2011 වර්ෂයේ ප්‍රකාශයට පත්කල ඒකක භාර සංග්‍රහය (Unit Trust Code) පුළුල් කරමින්, විනිමය හුවමාරු අරමුදල් සහ හෙජ් අරමුදල් වැනි පුළුල් පරාසයක යෝජනා ක්‍රම සඳහා පහසුකම් සැලසීම සඳහා සාමූහික ආයෝජන යෝජනා ක්‍රම සංග්‍රය (Collective Investment Schemes Code [CIS]) කෙටුම්පත් කරමින් පවතී. මෙම සාමූහික ආයෝජන යෝජනා ක්‍රම සංග්‍රය බලාත්මක වීමත් සමඟ ආයෝජකයින්ට සහ නිකුත්කරන්නන්ට බොහෝ ආයෝජන මාර්ගවල ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

වෙළෙඳපොළ තුල නව ලැයිස්තුගත කිරීම් ඉහල නැංවීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් විශේෂ අරමුණු මත අත්පත් කර ගැනීමේ සමාගම් (Special Purpose Acquisition Companies - SPACs) සඳහා වන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරන ලදි. මේ වන විට කොළඹ කොටස් හුවමාරුව මේ සඳහා අවශ්‍ය වන නියාමන ප්‍රතිපත්තිය සකස් කරමින් පවතී.

සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහ ආරම්භක අවධියේ ව්‍යවසායන් සඳහා ප්‍රාග්ධන වෙ‍ෙළඳපොළ හරහා ප්‍රාග්ධනය රැස්කිරීමේ මාර්ග වැඩි කිරීමේ අරමුණින් කොමිෂන් සභාව විසින් සාමූහික අරමුදල් (Equity Crowd Funding) සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලද අතර මෙම මුලපිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ආසියානු සංවර්ධන බැංකුව මඟින් සපයනු ලබයි. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට මේ සඳහා වේදිකා සපයන්නන් වෙළෙඳපොළ මෙහෙයුම්කරුවන් ලෙස පිළිගැනීමට හැකියාව ඇති අතර එවැනි ආයතන සඳහා පහසුකම් සැලසීම සඳහා නීති කෙටුම්පත් කරනු ලැබේ.

තිරසාර බව ලඟා කරගැනීමට සහ තිරසාර බව වටා ඇති අරමුණු ලඟා කර ගැනීමට රට මෙහෙවීම සඳහා, හරිත බැඳුම්කර (Green Bonds) සඳහා කොමිෂන් සභාව ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. විශේෂ අරමුණු මත අත්පත් කර ගැනීමේ සමාගම් මෙන්ම මෙම මුලපිරීම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදෙනු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුව මඟින් වන අතර එවැනි හරිත බැඳුම්කර වලින් ලැබෙන ආදායම පුනර්ජනනීය බලශක්තිය, තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති, භුමිය තිරසාර ලෙස භාවිතය (වන වගාව සහ කෘෂිකර්මය), පිරිසිදු ප්‍රවාහන පද්ධති සහ පිරිසිදු ජල ව්‍යාපෘති යනාදිය ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා පමණක් යෙදවීමට නියමිතය.

මෙයට අමතරව, ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් ව්‍යුහාත්මක කොටස් බලපත්‍ර (Structured Warrants) සහ ඉස්ලාමීය ප්‍රාග්ධන වෙළඳපොළ උපකරණ (Islamic Capital Market Products) හඳුන්වාදීම දීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුව සකස් කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටී.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ බලාත්මක කිරීමේ යාන්ත්‍රණය

රටේ සුරැකුම්පත් වෙ‍ෙළඳපොළ තුල ආයෝජනය කිරීමට කැමති ආයෝජකයින් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ එහි ප්‍රතිඵලයක් ලෙස ගණුදෙණු සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබේ. මේ සමඟ වඩාත් දැඩි ආවේක්ෂණ සහ සුපරීක්ෂණ යාන්ත්‍රණයක අවශ්‍යතාවය මතු වී ඇත. මේ අවශ්‍යතාවයට අනුකූලව, පූර්ව ක්‍රියා කිරීම, වැළක්වීම සහ විචක්ෂණභාවය හරහා බලාත්මක කරමින් අවධානයට යොමු කර ඇති ඇති ඕනෑම විෂමචාරයක් සිදුවීමේ සම්භාවිතාව තුරන් කිරීමේ අරමුණින් ආවේක්ෂණ, සුපරීක්ෂණ සහ විමර්ශන අංශයන් ශක්තිමත් කිරීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ගත හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇත. නිදසුනක් ලෙස, ආවේක්ෂණ අංශය දෛනික ගනුදෙනු සියයකට වඩා අවධානයට යොමු කල අතර එම ගනුදෙනු සම්බන්ධයෙන් ආවේක්ෂණ වාර්තා සකස් කිරීම, අනුකූලතා නිලධාරීන්ට හෝ ඉහළ අධිකාරියකට දැනුම් දීම, ආයෝජන උපදේශකයන්ට අවවාද දීම, මාර්ගගත ගනුදෙනු කිරීමේ පහසුකම අත්හිටුවීම, හේතු දැක්වීමේ නිවේදන, සහ අපරාධ නඩු හෝ නඩු පැවරීම ඇතුළු බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත. වෙළෙඳපොළ විෂමාචාර සැලකිය යුතු ලෙස අඩු කිරීම සඳහා එවැනි පූර්ව ක්‍රියාකාරී පියවරයන් ඉතා ඵලදායී බව සනාථ වන ලදි.

කොරෝනා වසංගතය සහ එහි ප්‍රතිවිපාක ගැන මම එතරම් සඳහන් කිරීමට අදහස් නොකරමි. රට තුල ක්‍රියාත්මක වූ එන්නත් වැඩසටහන් වල සහයෝගයෙන් වෛරසය ව්‍යාප්තිය මැඩලීමට රටක් ලෙස අපට හැකිවීම ඇත්තෙන්ම භාග්‍යකි. අනෙක් සියල්ලන් මෙන්ම ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අපිද එහි ප්‍රතිඵල අත්වින්දෙමු. මේ අනුව, කාලයේ වෙනස්වීම් වලට අනුව හැඩගැසෙමින් දැනුම වැඩිදියුණු කිරීම සඳහා වන සමහර ක්‍රියාකාරකම්වල නියැලීමට ඒ හා සම්බන්ධ වැඩසටහන් අඛණ්ඩව කරගෙන යාමට අතත්‍ය වේදිකාවන් නිර්මාණය කිරීමට සිදුවිය. වෙළඳපොල සහභාගීවන්නන් දැනුවත් කිරීම සඳහා එවැනි වේදිකා භාවිතා කරන ලද අතර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අඛණ්ඩව අදටත් එම වේදිකාව භාවිතා කරමින් පවතී.

වෙ‍ෙළඳපොළ සහභාගීවන්නන් නියාමනය කිරීම සඳහා නීති රීති සහ මාර්ගෝපදේශ

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතේ 183 වන කොටස අනුව,’පනත යටතේ රීති සෑදීමට බලය දී ඇති හෝ මේ පනත යටතේ රීති සෑදිය යුතු යැයි සඳහන් කර ඇති හෝ නියම කර ඇති යම් කාරණාවක් සම්බන්ධයෙන් රීති සෑදීම සඳහා කොමිෂන් සභාවට බලය පවරා ඇත’. එවැනි රීති ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළ යුතු අතර එසේ ප්‍රකාශයට පත්කල දිනයේ හෝ නියම කරන ලද පසු දිනයකදී ක්‍රියාත්මක විය යුතුය. මෙම විධිවිධානයට අනුකූලව වෙ‍ෙළඳපොළ අතරමැදියන්ට සහ වෙළෙඳපොළ ආයතන සඳහා අදාළ වන රීති කෙටුම්පත් කිරීමට පියවර ගෙන ඇත. මෙම රීති කෙටුම්පත් කිරීම අවසාන අදියරේ පවතින අතර 461 වෙනි කොමිෂන් සභා රැස්වීමේ අනුමත වීමෙන් අනතුරුව එය රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමට හැකි බව මම ඉතා සතුටින් පවසමි. රීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය මනා අවධානයක් යොමු කල යුතු ඉතා වෙහෙසකර කාර්යභාරයක් වන අතර පාර්ශවකරුවන් හා පැවැත්වූ සාකච්ඡා රැසකින් පසුව ඔවුන්ගේ ප්‍රතිපෝෂණ සඳහාද හැකිතාක් දුරට ඉඩ සලසන ලදි.

සුරැකුම්පත් වෙළෙඳපොළේ ප්‍රධාන ආයතන වල ක්‍රියාකාරීත්වයට තීරණාත්මක වන මෙම රීති සමස්ත වෙ‍ෙළඳපොළ වර්ධනයටද වැදගත් කරුණක් වන බැවින් එම රීති වන තුල වන අන්තර්ගතයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සැපයීම ඉතා වැදගත් වේ. අදාළ ආයතන බලපත්‍රයක් ලබාගැනීම සඳහා කොමිෂන් සභාවට අයදුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවේ සිට එම ආයතනයේ මෙහෙයුම් අවසන් වන තෙක් වන ක්‍රියාවලිය සඳහා මෙම රීති වලින් පහසුකම් සපයයි.

මෙම රීතීන් සඳහාම සුවිශේෂී වන රීතියක් වනුයේ වෙළෙඳපොළ අතරමැදියන් සහ වෙ‍ෙළඳපොළ ආයතනයන්හි ප්‍රධාන කළමනාකරණ පුද්ගලයින් එම ආයතනයන්හි ඉටු කරන භූමිකාවන් හා සම්බන්ධ වගකීම් ඉටුකිරීම සඳහා ඔවුන් සුදුසු සහ යෝග්‍ය බව සහතික කිරීම සඳහා වන යෝග්‍යතා සහ සුදුසුකම් පිලිබඳ වූ රීතියයි. ආයෝජකයින් සහ ඔවුන්ගේ වත්කම් ආරක්ෂා කිරීම මෙමඟින් අපේක්ෂා කරන අතර එතුලින් වෙළෙඳපොළ වගකීම් සහගතබව සහ විශ්වසනීයබව සහතික කරයි. මෙලෙසම, අනුකූලතා අත්පොතෙහි සහ අනුකූලතා වාර්තාවෙහි සඳහන් විය යුතු අවම අන්තර්ගතයන් සඳහන් කිරීමද සැලකිල්ලට ගැනීම වැදගත් වේ. මා මීට ඉහත බොහෝ වාරයක් ප්‍රකාශයට පත් කර ඇති පරිදි, අවසාන අරමුණ වනුයේ දේශීය සහ විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කරගත හැකි පරිදි අපේ වෙ‍ෙළඳපොළෙහි අඛණ්ඩතාව ඉහළ නැංවීමයි.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ විෂය පථය යටතට පැමිණෙන තවත් සේවා සපයන කාණ්ඩයක් නම්, අතිරේක සේවා සපයන්නන් වේ. පනතට අනුකූලව, අතිරේක සේවා සපයන්නන් සඳහා අදාළ වන මාර්ගෝපදේශ හෝ රීති සෑදීමට කොමිෂන් සභාවට බලය පවරා ඇත. එබැවින්, මේ වන විට, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අතිරේක සේවා සපයන්නන් පාලනය සඳහා වන මාර්ගෝපදේශ සැකසීමේ ක්‍රියාවලියේ නිරතව සිටී.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ කාර්යමණ්ඩලය : එහි වටිනාම වත්කම

සමාලෝචනය අවසන් කරන මේ මොහොතේ, කාර්යමණ්ඩලය විසින් ලබා දුන් දායකත්වය පිලිබඳ මා කෙතරම් තෘප්තිමත් දැයි පැවසිය යුතුමය. 2021 වසරේ ලඟා කරගත් සංධිස්ථාන රාශියක් අත්කර ගැනීමට ඔවුන්ගේ කැපවීම සහ උත්සාහය අතිශයින් වැදගත් විය. සෑමවිටම අපි අපගේ සේවකයන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර ඔවුන් මෙම ක්ෂේත්‍රයේ අනාගත නායකයන් බවට පත් කිරීමට කටයුතු කරන්නෙමු. ආයතනයක් ලෙස මුහුණ දීමට සිදුවූ අභියෝග මධ්‍යයේ වුවද මෙම වසර පුරාවට ඔවුන් ලබාදුන් උපරිම සහයෝගය සහ ඔවුන්ගේ කැපවීම කෙරෙහි කාර්යමණ්ඩලයට ස්තූතිය පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කරගනිමි. අවසාන වශයෙන්, සමස්තයක් ලෙස රටේ සුරැකුම්පත් වෙළෙඳපොළේ අභිවෘදිය සහ පැවැත්ම සහතික කිරීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අඛණ්ඩව කැපවී සිටින බව කිසිදු සැකයකින් තොරව පවසමි.

කොටස් වෙ‍ෙළඳපොළ නියාමකයා ලෙස, අධි නියාමනයේ අන්තරායන් පිළිබඳව අපි දැනුවත්ව සිටින බැවින් අඛණ්ඩව මනා තුලනයක් පවත්වා ගැනීමට කටයුතු කරන අතරම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළට තිරසාරත්වය ඒකාබද්ධ කිරීමට කැපවී සිටින්නෙමු. ඒ සම්බන්ධයෙන්, කොළඹ කොටස් හුවමාරුවේ කණ්ඩායමෙන් ලද විශිෂ්ට සේවය පිළිබඳ මා ඉතා සතුටු වන අතර විශේෂයෙන් එහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා, ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, සහ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධන මහතාට ආයතන දෙක අතර සමීප සම්බන්ධතාව තහවුරු කරමින් ඔවුන් දැක්වූ විශ්වසනීය සහයෝගයට ස්තූතිය පළ කරන අතර අඛණ්ඩව ඉදිරියටත් ඔවුන් හා එක්ව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා නිරන්තරයෙන් ලබාදුන් ඥානන්විත උපදෙස් සහ නොසැලෙන සහයෝගය පිළිබඳව මාගේ කෘතඥතාව පළ කරන අතරම අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් මම ඔහුට ආයතනය වෙනුවෙන් මෙන්ම පෞද්ගලිකවද අවංක ස්තූතිය පිරිනමමි. එමෙන්ම කොමිෂන් සභා සාමාජිකයන්ගේ නොසැලෙන සහයෝගය, වටිනා උපදෙස්, සාමූහික විශේඥතාවය සහ ආයතනය සම්බන්ධ කාර්යයන්හීදී ඔවුන්ගේ වෘත්තිමය සහ පෞද්ගලික කාලය කැප කිරීම වෙනුවෙන් සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ දැක්ම කරා ලඟා වීමට කොමිෂන් සභා සාමාජිකයින්ගේ නිරන්තර මඟ පෙන්වීම, සහයෝගය සහ දිරිගැන්වීම පිළිබඳ මම ඔවුන්ට ස්තූතිවන්ත වෙමි. කඩාවැටී ඇති ආර්ථිකය නංවාලීමට සහ පුද්ගලික අංශය පුනර්ජීවනය කිරීම සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමට රටේ සුරැකුම්පත් වෙළඳපොළට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ඇත. එබැවින්, අපගේ රට පරිවර්තනය කිරීමට සහ නැවත ගොඩනැංවීමට වෙළඳපොළ හරහා හැකියාව ඇති අතර මේ සඳහා වෙළඳපොළ සමඟ සම්බන්ධ වන ලෙස සෑම දෙනෙක්ටම මම ඉතා සතුටින් ආරාධනා කරමි.

අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ කාර්යාලය

ලේකම්

දුරකථන : 0112 143815